වැනසෙන මිනිස් ලොව දැක දෙවියෝ කම්පා වෙති...!
'ඉදිරියේ අනතුරු බහුලයි.රැකවරණය දහම තුළ පමණයි.'
දෙව්ලොවින් ඇසෙන කථාවක්
( සත්‍ය සිදුවීමක් ඇසුරිනි )
මින්
වසර 2600ට පෙර යුගය මේ පෘථිවි තලයේ තිබුණු අසිරිමත්ම යුගය යි.එකල මනු ලොව
මිනිසුන් ද දෙව්ලොව දෙවියන් ද එකවර,එක මොහොතක එක් උත්තම මනුෂ්‍ය රත්නයක් වට
එක්විය.ගෞතම අරහත් සම්බුදු රජුන් බිහි කළ ඒ අසිරිමත් යුගයේ මිනිසුන් හා
දෙවිවරු කතා බස් කළෝ ය.දෙවිවරු මිනිසුන් හට උපකාර කළෝ ය.එකල යුගය එතරම් ම
අසිරිමත් ය.
කාලය ගත වෙද්දී ගෞතම සම්බුද්ධ සාසනය ද
පිරිහෙන්නට පටන් ගත්තේ ය.ගෞතම සම්බුදු රජුන්ගේ සිරි සදහම් නොඇසෙනා යුගයේ
මිනිසුන්ගේ ගුණ ධර්ම ද පිරිහී ගියේ ය.පිරිහෙන ගුණ ධර්ම ඉදිරියේ දෙව්ලොව
දෙවියන් ද මිනිසුන් ව අත්හැර දැමුවේ ය.මේ අතර බෞද්ධයා මිත්‍යා දෘෂ්ඨික
ඇදහිලි කරා සීඝ්‍රයෙන් යොමු විය.
එහෙත් යුගෙයේ පිනට ම නැවත
ගෞතම සම්බුදු රජුන්ගේ සිරි සදහම් ලොවට විවර වූයේ ය.මිනිසුන් නැවතත් සීලීදී
ගුණ ධර්ම දියුණු කරන්නට විය.මඩ ගොහොරුවක උපන් පියුමක් සේ පිරිහුණ යුගයක
නැවත සත්පුරුෂයන් බිහිවන්නට විය.දියුණු වන ගුණ ධර්ම ඉදිරියේ නැවත මිනිසුන්
සමග දෙවිවරු සම්බන්ධ වන්නට විය.මිනිසුන් සමග දෙවිවරු කතා බස් කරන්නට
විය.මෙය ද එවන් එක් සත්‍ය සිදුවීමකි.මෙම පුවතට සම්බන්ධ සත්‍ය චරිත තවමත් අප
අතර ජීවත් වන්නේ ය.
මින් වසර හත අටකට පෙර ඌව වෙල්ලස්ස
දනව්වේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ ධර්ම ප්‍රචාරය
ආරම්භ කළ අවධිය යි.මිහිරි සරින් පවසන ගම්භීර සම්බුදු වදන් මෙම ගම්මානවල
වෙසෙනා අහිංසක මිනිසුන්ගේ සවන් පුරා රැව් දුන්නේ ය.අසත්‍යයේ අඳුරු කඩතුරා
සුනු විසුනු කර සත්‍ය දකින්නට මොවුන් පිනැතියන් විය.මේ පිරිසේ සිටි තරුණයන්
හට අලුතින් ම ඇසෙනා මේ මිහිරි දහම් පද අරුමයක් විය.කිසිදාක නොඇසුණු
ඉදිරියේ මේ දරදඬු තරුණයන් කඳුළු සලන්නට විය.බොහෝ කල් අඳුරේ තිබුණු ජීවිතවලට
ආලෝකය ලැබුණු කල්හි මේ තරුණයෝ එකට එක්ව කථා බස් කළෝ ය.
"අපේ
පිනට මේ ධර්මය අපට අහන්න ලැබුණා.නැත්නම් අපි දන්නෙම නැතුව සතර අපායට වැටි
වැටී යන ගමනකට එක් වෙන්න සිදු වෙනවා.ඒ නිසා අපි අපේ ගමේ අහිංසක
මිනිස්සුන්ට,මේ අපිට ලැබුණ නිධානය පෙන්වල දෙන්න ඕනි.නැත්නම් එයාලත් හිස්
අතින් මැරිල යයි.අපි කොහොම හරි එයාලට මේ ධර්මය අසන්නට පාර හදලා දෙන්න ඕනි."
මෙසේ
කථිකා කර ගත් තරුණයෝ තම ගම බේරා ගැනීමේ දැහැමි සටන ඇරඹුවෝ ය.සටන ලේසි
නැත.ඒ බව දත් තරුණයන් ගම්මානයට හුරු පුරුදු තම ස්වරූපය වෙනස් කර ගත්තේ
ය.සියල්ලෝ ම සුදු වතින් සැරසුණෝ ය.බුලත් හුරුල්ලක් අතින් ගෙන මෙම අසීරු සටන
සීරුවෙන් ඇරඹුවෝ ය.පිරිස කුඩා කණ්ඩායම්වලට බෙදුණෝ ය.ගමේ ගෙයක් ගෙයක් පාසා
ගොස් ගෞතම සම්බුදු රජුන්ගේ සත්‍යයේ සදහම් සන්දේශය අසන්නට පැමිණෙන ලෙස
ආරාධනා කළහ.දොරට තට්ටු කරන හඬින් දොර විවර කරන ගෙහිමියා තමා දකින දර්ශනයෙන්
මොහොතල් දෙලොවක් අතර අතරමං වන්නේ ය.වෙනදා ගමේ රා අරක්කු බොමින් සෙල්ලක්කාර
චරිත දැරූ තරුණයන් දැන් සුදෝ සුදු වතින් සැරසී බුලත් හුරුළු ගෙන තම දෑස්
ඉදිරියේ ය.ඔවුන් ඊළඟට පවසන දෙයින් ගෙහිමියාට උන්හිටි තැන් අමතක වන්නේ
ය.
"අම්මේ,අපි මේ ආවේ මේ පින්වත් අම්මලාට ආරාධනාවක්
කරන්නට.අපි අම්මලා වෙනුවෙන් හෙට ධර්ම දේශනාවක් ලෑස්ති කරලා තියෙනවා.ඉතින්
ගෙදර කට්ටිය ම උදෙන් ම එන්න ඕනි.අපි උදේ දවල් දානේ,ගිලන්පස සකස්
කරනවා.අම්මලාට තියෙන්නේ සුවසේ ධර්මය අහන්න විතරයි."
ගම්මානය
පුරා පැතිර ගිය මේ අසිරිමත් පණිවිඩයෙන් බොහෝ දෙනෙකුට දහම් මග විවර
විය.අවසානයේ කන්දේගම ලෙස තිබුණු මේ ගම්මානයේ නම ද සුවඳගම ලෙස වෙනස්
විය.සුවඳගම පුරා දම් සුවඳ පැතිර යද්දී ඒ සුවඳ විඳ ගත් අය අතර එක් සුපින්වත්
මාතාවක් ද සිටියා ය.ඇය දරුවන්ගේත් දරුවන් දුටු මිත්තණියකි.මේ පින්වන්ත
මිත්තණියට බණ පද කියවන්නට නො හැකි වුවත් ඇය ඇසූ බණ පද අනුව මුළු හදවතින් ම
තෙරුවන් සරණ යන්නට තරම් නැණවත් විය.වයස්ගත වී හෝ ඇසූ දහමට අතිශය පැහැදී ඇය
බොහෝ වයෝවෘධ වුව ද ආර්ය මහා සංඝ රත්නය වෙනුවෙන් කුටි සදා පූජා කර ගන්නට ඇය
බොහෝ වෙහෙසුණා ය.සඟ රුවන කෙරෙහි දන් පැන් ද පූජා කළා ය.ඇය පංච සීලය රැක
ගත්තේ තම දෑස් මෙනි.
දහම් අසා අවබෝධයෙන් සරණ ගිය දා
පටන් තම ස්වාමියා වෙනුවෙන් හෝ දරුවන් වෙනුවෙන් හෝ ඇය බොරුවක් නො කීවා
ය.ඇත්තෙන් ම ඇය තුළ තිබුණු ගුණයන් දුලභ ය.තම නිවසට පැමිණෙන කිසිවෙකු හටත්
තේ වතුර උගුරක් නො දී නිවසින් පිටමං නො කළා ය.නිවස අසළ හෝ රැඳෙන කෙනෙකුට
"අනේ මයේ පුතේ ඔය එළියේ ඉන්නේ නැතිව වරෙන්කෝ ගේ ඇතුළට,තේ උගුරක් බීලා
යන්න." කියමින් කාරුණික වදනින් අමතන්නට තරම් ඇය කාරුණික විය.ඇය කිසිවෙකුත්
සමග කලකෝලාහල කර ගන්නට ගිය බවක් කිසිවෙකුටත් මතකයක් නැත.පැටලි පැටලී යන
සිරිතක් ඇය තුළ නො තිබිණි.
කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යද්දී ඇය
ගෙන ආ ආයුෂ ද ගෙවී ගියේ ය.දිනක ඇය බලවත්ව රෝගි විය.අසල රැඳෙමින් ඇයට
උපස්ථාන කළේ ඇගේ මිණිපිරියකි.තම මවට දක්වන සෙනෙහසට නො දෙවෙනි වූ සෙනෙහසක්
මිත්තණියට දැක්වූ මේ මිණිපිරිය ද තෙරුවන් සරණ ගිය කාරුණික දියණියකි.තම
සෙනෙබර මිත්තණියගේ අවසන් මොහොත උදා වූ බව දැන ගත් ඇය,විගසින් බුදු පිළිම
වහන්සේ නමක් මිත්තණිය අසලින් තැබුවා ය.ඇයට ඇසෙන්නට ශබ්ද නගා බුදු ගුණ
සජ්ඣායනා කළා ය.බුදු ගුණ ඇසෙන්නට පටන් ගත් විට මිත්තණිය අපහසුවෙන් තම හිස
හරවා ගෙන බුදු පිළිම වහන්සේ දෙස බලමින් බුදු ගුණ මුමුණන්නට
විය.ක්‍රමක්‍රමයෙන් අඩපණ වී ගිය ඕ තොමෝ බුදු පිළිම වහන්සේ දෙස බලා ගත්වනම
අවසන් හුස්ම හෙළුවා ය.ඉපදෙමින් මැරෙමින් යන සසරේ තවත් එක් දිවියකට ඇය සමු
දුන්නා ය.මිත්තණිය ජීවතුන් අතර සිටිය දී බොහෝ පින් දහම් රැස් කර ගත් බව දත්
පවුලේ සියල්ලෝ ම හදවතේ නැගෙන දුක් යටපත් කර ගත්තෝ ය.
කාලය
ගෙවී යද්දී මිත්තණිය පිළිබඳ මතකය තුනී වී ගියේ ය.අවසන් මොහොතේ මිත්තණිය
අසල රැඳුණු දියණිය කලකට පසු තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තා
ය.සාමාන්‍ය ලෝකයාට අනුව එය අසම්මතයේ ප්‍රේම කථාවකි.තරුණයා මුස්ලිම්
ජාතිකයකි.පවුල් දෙකෙන් ම ආ දැඩි බාධා මධ්‍යයේ මේ දෙපළ විවාහ විය.ටික
කලෙකින් මේ කැදැල්ලට සිඟිති පුතෙකු ද එක් විය.අවාසනාවට ලාමක ජාති භේද
ප්‍රශ්න මේ අහිංසක කැදැල්ලට වින කළේ ය.එන්න එන්න ම උතුරා යන ප්‍රශ්න හමුවේ
මේ දෙපළ ම මනසින් කඩා වැටුණෝ ය.කරන්නට කිසි දෙයක් නො වුණු කළ තුවාන්
'දික්කසාදය' නම් වූ අවසන් තීරණයට අකමැත්තෙන් හෝ එළඹුණේ ය.හඬන්නට තවත් කඳුළු
ඉතිරි නො වුණු සුමුදු ට මෙම තීරණයත් සමග පටාචාරාවක් වන්නට ගත වූයේ සුළු
මොහොතකි.කායිකව ද මානසිකව ද ඇද වැටුණු සුමුදු තම සිඟිති පුතු සමග තනි වූවා
ය.
මේ සියල්ල මෙසේ සිදුවන අතරේ අනුකම්පා සහගතව මේ
සියල්ල දෙස බලා සිටි කෙනෙක් විය.අහිංසක තරුණ ජීවිත දෙකක් පෘථග්ජන ලොව
ප්‍රශ්නයක් හමුවේ විනාශ වන්නට යන අයුරු දුටු මේ අපූර්ව චරිතය දිනක් තුවාන් ට
කථා කළේ ය.ඒ වෙන කිසිවෙකුත් නො ව කලකට පෙර මිය ගිය සුමුදුගේ ආදරණීය
මිත්තණිය යි.
ඇය මරණින් පසු උපත ලැබුවේ චාතුම්මහාරාජික
නම් දෙව්ලොවයි.මිනිස් කය හැර දමා ඇය චාතුම්මහාරාජික දෙව්ලොව සුපින්වත් දෙව්
දුවක් ව ඉපදුණා ය.ඇය දිනක් තම දිව්‍ය ස්වරූපයෙන් ම තුවාන්ට කථා කළා
ය.නින්දේ හුන් තුවාන් එක්වර ම ගැස්සී ගියේ ය.බබළන සිරුරකින් යුත් සුන්දර
කාන්තාවක් තම අසළට පැමිණෙන අයුරු ඔහුට දැනෙයි.එක්වර ම දැඩි ස්වරයකින් ඇය
තුවාන් ට කතා කළා ය.
"ඔය විදියට සුමුදු කෙල්ලට වද දුන්නොත් ඇත්තට ම අපි සුමුදු ව ඈත් කරවනවා.ඔය කෙල්ලට තියෙන්නේ කාරුණික හදවතක්.ඇයි ඔය විදියට රිද්දන්නේ?"
මෙසේ
කියමින් තුවාන්ට දැඩි සේ අවවාද කළා ය.තුවාන් එක් වරම නින්දෙන් අවදි
විය.ඔහුට මේ කිසිවක් තෝරා බේරා ගන්නට නො හැකි විය.තමා දුටුවේ සිහිනයක් නො
වන බව ඔහුට විශ්වාස ය.ඔහුටවත් ඇදහිය නො හැකි බොහෝ දෑ නින්දෙන් ආ සුන්දර
කාන්තාව කී බව තුවාන්ට මතකය.අදහාගත නොහී මේ සිද්ධියත් සමඟින් තුවාන් පසු දා
හිමිදිරියේ ම සුමුදු ව සොයා ගියේ ය.සිදු වූ සියල්ල ඇය හමුවේ කීවේ ය.
සාවධානව
තුවාන්ගේ කථාව අසා සිටි සුමුදුට නින්දෙන් පැමිණියේ කවුරුන්දැයි සිතා
ගැනීමට අපහසු නො වීය.තම සෙනෙහෙබර මිත්තණිය දෙව්ලොව ඉපදී ඇති බව දැන ඇය බොහෝ
සේ සතුටු වූවා ය.නැවත් මේ දෙපළගේ කැදැල්ලට සතුට ගලා ආවේ ය.මේ සියල්ලට ම
උපකාර කළේ සුමුදුගේ දෙව්ලොව සිටින මිත්තණිය යි.ටික කලෙකින් තුවාන් මුළු
හදවතින් ම තෙරුවන් සරණ ගියේ ය.
දිනක් මම තුවාන් මුණ ගැසෙන්නට ඔහු සොයා ගියෙම්.
'නමෝ බුද්ධාය!' කියා මා පිළිගත් ඔහු මුලින් ම පැවසූ දෙයින් ම මා විශ්මයට පත් විය...මං දන්නවා මල්ලි ආපු කාරණාව.මට ඊයේ විස්තර කිව්වා.
නිතර ම සිනහ මුසු මුහුණින් සිටින සුන්දර තරුණයෙක් වූ තුවාන්ගේ පළමු වදනින් ම ඔහු ගැන මා සිත් තුළ තිබුණු සැකයට පහර වැදුණේ ය.
තුවාන් අයියා ඇත්තට ම ඔය අයියත් එක්ක කථා බස් කරන දෙව් දුව මොන වගේ ද? ලස්සන ද? සුන්දර සිනාවක් තුවාන්ගෙ මුවෙහි ඇදී ගියේ ය.
ඒ
ගැන නම් කියන්න වචන නෑ මල්ලි.හරිම ලස්සනයි.මුළු ඇඟම බබළනවා.ලොකු රශ්මියක්
ඇඟෙන් ම විහිදෙනවා.ඇඳන් ඉන්න සළුපිළි බබළනවා.ලස්සන ආභරණ ගොඩක් පැළඳගෙනයි
ඉන්නේ.එයාට පිටිපස්සෙන් තවත් කෙනෙක් මුතු කුඩයක් අල්ලනවා.හරිම තේජස්
පාටයි.කටහඬත් හරිම මිහිරියි.හරිම කරුණාවෙන් තමයි කථා කරන්නේ.
ඉතින් අයියා ඇයි අයියට ම මේ දෙව් දුව කථා කරන්නේ?
මං
හිතුවා මල්ලි ඔය කාරණාව මගෙන් අහයි කියල.මල්ලි ම හිතල බලන්න මං උපතින් ම
මුස්ලිම්.ඉතින් මට මේ විස්තර වෙන කෙනෙක් කිව්ව නම් මං විශ්වාස කරයි ද? ඒ
නිසා ම යි මට ම කථා කරලා තියෙන්නේ.මට තෙරුවන් සරණ යන්න උදව් කළෙත් ඒ
පින්වත් දෙව්දුව තමයි.මට බොහෝ ධර්ම කාරනා කියල දෙනවා.මං දැන් ගොඩක් සතුටු
වෙනවා.මට බුදුරජාණන් වහන්සේ ගැන අසන්නට ලැබුණා.උන්වහන්සේ සරණ යන්න
ලැබුණා.මං අවුරුදු ගාණක්ම හිටියේ අඳුරේ.දැන් මං එළිය දකිනවා.මට පුදුම
මෙච්චර ලස්සන ධර්මයක් තියාගෙන බෞද්ධ මිනිස්සු වෙන වෙන දේවල් පස්සේ යන එකයි.
සුමුදුගේ
මිත්තණිය ජීවතුන් අතර සිටිය දී එතරම් දහම් දැනුමක් තිබූ අයකු නොවේ.එසේ නම්
ඇය දැන් කෙසේ ද ධර්මය කථා බස් කරන්නේ යන පැනය මා හට මතු වූයේ නිතැතින් ම
ය.
එයට පිළිතුරු දුන් තුවාන් පැවසුවේ අපූරු කථාවකි.
මල්ලී,බුදුරජාණන්
වහන්සේගේ ධර්මය තමයි දෙව්ලොවත් කථා වෙන්නේ.අනික චාතුම්මහාරාජික දෙව්ලොව
එක් දිනක් මිනිස් ලොවින් නම් වසර 50ක්.ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ
පිරිනිවන් පාලා ඒ දිව්‍ය ලෝකයට තවමත් දවස් 50ක් වගේ කාලයක් තමා ගත වෙලා
තියෙන්නේ.ඉතින් ඒ දෙව්ලොව නිතර ම මේ ධර්මය කථා වෙනවලු.බලසම්පන්න දෙවිවරු ඒ
දිව්‍යලෝකවලට ඇවිත් ධර්මය දේශනා කරනවලු.මට මේ දින කීපයකට කලිනුත් කිව්වා
බලසම්පන්න දෙවි කෙනෙක් වඩිනවා ධර්මය දේශනා කරන්න,මං ඒ විස්තර පසුව කියන්නම්
කියලා.මාත් තෙරුවන් කෙරෙහි ගොඩක් ම පැහැදුණේ ඒ කියපු ධර්ම කාරණා නිසයි.
අතිශය
පුදුම සහගත ය.වසර 2600ක් ගත වී ඇතත් දෙව්ලොව තවමත් අපගේ ශාස්තෘන් වහන්සේ
වන ගෞතම සම්බුදු රජුන්ගේ ධර්මය කථා බස් කරයි.දෙව්ලොව තවමත් මේ සිරි සදහම්
පිරිසිදුව පවතී.සනන්කුමාර නම් වූ අනාගාමී ඵලයට පත් වූ බ්‍රහ්මරාජයා
දෙව්ලොවට වැඩම කොට ධර්මය දේශනා කරන බව සූත්‍ර දේශනාවල ද සඳහන් වේ.එසේ නම්
දැන් තුවාන් පවසන්නේ ද සත්‍යකි.එය එසේ නම් අප කොතරම් භාග්‍යවන්තයෝ ද?
දෙව්ලොව දෙවියන් පවා කථා බස් කරන ධර්මයක් අපට ද අසන්නට ලැබීම ඒකාන්තයෙන් ම
ආශ්චර්යයකි.
මේ පින්වත් දෙව්දුව මොන විදියේ ධර්ම කාරණා ද කියා දෙන්නේ?
ගොඩක්
ම කියන්නේ පන්සිල් රකින්න කියල තමයි.සිල් පද කැඩුණ ම ඒකෙ ආදීනව සිහි කරන්න
කියනවා.ළඟදී ඉදන් මරණ සතිය පුරුදු කරන්න කියනවා.ගොඩක් අය හිතන් ඉන්නේ හරිම
ලාමක විදියට.එක සිල් පදයක් කඩලා ඉතිරි 4 රැක්කම හරි කියල තමයි හිතන්
ඉන්නේ.ඒක වැරදියි.සුගතියක හෝ දුක් නැති තැනක ඉපදෙන්න නම් සිල් පද පහම
රැකෙන්න ඕනි කියල කියනවා.නිහතමානී වෙන්න කියනවා.හැම කෙනාට ම එකම විදියට
සළකන්න කියනවා.කේන්ති ගන්න එපා කියනවා.කාගෙවත් හිතක් රිද්දන්න එපා
කියනවා.නිතර ම පින් කර ගන්න කියනවා.ඒවා තමයි දෙවිවරු ළඟත් තියෙන ගුණ
ධර්ම.අනික පාරක යද්දී වුණත් කකුලක ඇනෙන පෑගෙන දෙයක් තිබුණොත් ඒක ඉවත් කරන්න
කියනවා.වෙන කෙනෙකුට ඒකෙන් අනතුරක් වෙන්න දෙන්න එපා කියනවා.ඒ වගේ හරි පුදුම
හිතෙන කාරණා කියනවා.
එතකොට අයියා සුමුදුගෙ ආච්චි දෙව්ලොව ගියේ සිල් පද හොඳින් රැකල ද?
ඔව්
මල්ලි,එයා හොඳට සීලය ආරක්ෂා කරල තියෙනවා.දරුවෙක් වෙනුවෙන්වත් බොරුවක්
කිව්වේ නෑ කියලා මුළු ගම ම දන්නවා.අපිත් එයා මිනිස් ලොව ඉද්දී ජීවිතය ගෙවපු
හැටි ගැන දැන් තමයි දන්නේ.එයා දැන් කියනවා එයාගේ සැමියගෙන් ඒ කියන්නෙ
සුමුදුගේ සීයාගෙන් එයාට වුණු කරදර.ගොඩක් වද දීලා තියෙනවා.ඒත් ආච්චි ඒවා
ආච්චි එළියට දුන් නෑ.ඉවසගෙන ඉඳල තියෙනවා.ඒ වගේ දුර්ලභ ගුණ ධර්ම තිබිල
තියෙනවා.
එතකොට දැන් සුමුදුගේ සීයා....?
එයා
මැරිලත් ගොඩක් කල්.මල්ලි කිව්වට විශ්වාස නො කරාවී එයා දැන් ඉන්නෙ ගොඩක්
දුක් තියෙන නිරයකලු.ඒක කිව්වෙත් සුමුදුගෙ අච්චි ම යි.එයා ඒක ගැන වැඩිය
හිතන් නැතිලු.තමන් කරගන්න දේ තමන්ට ම යි කියනවා.මං සුගතියට ගියා කියලා
පවුලේ ඔක්කොම සුගතියට අරන් යන්න බෑ කියනවා.
ඔහු ඊළඟට පැවසූ කරුණින් මා නෙතට ඉනූ තුටු කඳුළ සඟවන්නට මම අපෝසත් වීමි.
ඒ
දෙව්දුව මිනිස් ලෝකයේ ඉඳිද්දී මහමෙව්නාවෙන් පිරිසිදු ධර්මය අහල පැහැදුණු
කෙනෙක් මල්ලි.එයා ඒක නිතරම සිහි කරනව.මහමෙව්නාව නිසා ම අවබෝධයෙන් ම බොහෝ
පින් දහම් කරල සුගති සැප ලබපු කෙනෙක්.එයා නිතරම කියන්නේ මහමෙව්නාවට
ගිහින්,පිරිසිදු ධර්මය අහල,හිත පහදවාගෙන ධර්මයේ හැසිරෙන්න කියල.මනුස්ස ලෝකෙ
ගෞතම බුද්ධ ශාසනය පිරිහිලා අතුරුදහන් වේගෙන යන මේ යුගයෙ පින්වන්ත
මිනිසුන්ට බොහොම ටික කාලෙකට ලැබුනු දුර්ලභ අවස්ථාවක් ලු මේක.
බුදු
සසුනක අසිරිය මෙය ම නොවේ ද? අප මින් පෙර මෙවදන් අසා තිබුණේ බුදු සසුන
බැබලුනු දෙදහස් වසකට පමණ මත්තෙනි.ඒ විමාන වත්ථු තුළ ය.බුදු සසුන් යළි
ජීවමාන වූ මේ අසිරිමත් යුගයේ ඒ අතීත සිරිය ද යළිදු අප අතර ජීවමානව ඇත.මියයන
සැදැහැති ශ්‍රාවක ශ්‍රාවිකාවෝ දෙව්ලොව යති.දෙවිවරු මිනිසුන් සමග කථා බස්
කරති.නිර්මල බුදු සසුන විවර වන,සමාජගත වන යුගයන්හී දසත විද්‍යාමාන වන
අසිරිය මෙයයි.
තුවාන් පවසන සියල්ල පුදුම සහගත ය.ඔහු පවසන
දෙව්ලොව විස්තර විමාන වත්ථු පාලියේ සඳහන් ඇතැම් දිව්‍ය විමානවල තොරතුරු සමග
මනාව ගැළපී යන්නේ ය.ඔහු පවසන දෑ එතරම් ම පුදුම සහගත ය.දැනට දෙව්ලොව සිටින
දෙවිවරුන්ගේ නම් ගොත් පවා ඔහු පවසයි.මනුලොව සිටින කෙනෙකුට බුදුරජාණන්
වහන්සේ වදාළ ධර්මය ජීවිතයට ළං කර ගතහොත් ඔහුට ඒකාන්තයෙන් ම දෙව්ලොව උපතක්
කරා ගොස් දෙව්ලොව දී ධර්මය අවබෝධ කළ හැකි බව ඔහු සහතික කරයි.දෙව්ලොව ධර්මය
අවබෝධ කළ දෙවිවරුත්,අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දකින්නට තරම් පින තිබුණු
දෙවිවරුත් සිටින බව ඔහු පවසයි.ඒ දෙවිවරු ඉතා බලසම්පන්න බව ඔහු
පවසයි.දෙව්ලොව එතරම් අසිරිමත් ය.
මම තුවාන් සමග දෙව්ලොව විස්තර බොහෝ වේලා කථා කළෙමි.ඔහුගෙන් සමුගන්නට මොහොතකට පෙර අවසන් ප්‍රශ්නය ඔහු හමුවේ තැබුවෙමි.
අයියා,බොහෝ දෙනෙක් ඉදිරියෙ ලොවට සිදුවන අනතුරක් ගැන කථ කරනවා.ඒ ගැන මොකුත් කියන් නැද්ද?
ඇසූ පැනයෙන් එතෙක් වෙලා තුවාන් තුළ තිබුණු සුන්දර සිනහව අතුරුදහන් වූයේ ය.තම සිඟිති පුතු ළඟට ගෙන තුරුලු කර ගත්තේ ය.
ළඟක
දී ඉඳන් කියන්නෙ ම ඔය කාරණාව ගැන තමයි.අපට ඉදිරියේ තියෙන්නේ එච්චර ම හොඳ
කාලයක් නො වෙයි.දෙවිවරුන්ට ඉදිරියේ සිදුවන විනාශය පේනවා.ඒගොල්ලොත් ලොකු
උත්සහයක් ගන්නවා ඉදිරි අනතුරෙන් මිනිසුන්ව බේර ගන්න.අපිට නිතර ම කියන්නේ
ධාර්මික ව උපයන රුපියලෙන් හරි කමක් නෑ පින් කර ගන්න කියලා.නිතර ම පින්
කරන්න කියනවා.සම්බන්ධ වෙන්න පුළුවන් මොන පින්කමකට හරි සම්බන්ධ වෙන්න
කියනවා.
මේ විනාශය එකපාරට ම වෙන එකක් නෙවෙයි
කියනවා.ගොඩක් අය එහෙම හිතාගෙන ඉන්නේ කියනවා.දැනටමත් එය පටන් අරගෙනයි
තියෙන්නේ.මිනිසුන්ට නිතර කේන්ති යන විදියේ දේවල් පවා සිද්ධ වෙනවලු.පවුල්
අතරේ ප්‍රශ්න පටන් ගන්නවා.එකිනෙකාට එකිනෙකා රුස්සන් නැතිව යනවා.මිතුරුකම්
පවා නැති වෙනවා කියනවා.කොටින් ම කියනව නම් මිනිසුන්ගේ කණට ඇසෙන්නේ ඇසෙන්න
ඕන දේවල් නෙවෙයි කියනවා.එතරම් ම අප්‍රිය දේවල් ඉදිරියේ ඇසෙනවලු.මිනිස්
ක්‍රියාකාරකම් වගේම ස්වාභාවික විපත් නිසා මේ වෙන්න යන අනතුර ගැන දෙවියන්
පවා කම්පා වෙනවලු.බටහිර ලෝකවලට සිදුවන දේ හිතා ගන්නවත් බෑ කියනවා.
සූර්යාගෙන්
ඉදිරියේ දී ලොකු අනතුරක් තියෙනවලු.පෘථිවියෙත් සූර්යාගෙත් පිහිටීම අනුව
තවත් අනතුරු ගණනාවක් වෙන්න පුලුවන් කියල කියනවා.මිනිසුන් පණ පිටින්
පිළිස්සී යන තරම් දරුණු වෙන්නත් පුලුවන්ලු.ආයෙත් සුනාමි අනතුරකුත් ලෝකයට
තියෙනවලු.ලංකාවේ උතුරු ප්‍රදේශයට විශාල හානියක් වෙන්න පුලුවන් කියලයි
කියන්නෙ.මේ වෙන්න යන අනතුර ගැන දෙවියන් පවා කම්පා වෙනවලු.
ඉතින් අයියා මේ අනතුරෙන් බේරෙන්න විදියක් ගැන කියන් නැද්ද?
විශේෂයෙන්
ම ධර්මයේ හැසිරීම මොනයම් ම හේතුවක් නිසාවත් කිසිම විදියකින් ප්‍රමාද කරන්න
එපා කියනවා.ඒ වගේම පැහැදුනු සිතින් බුදුරජාණන් වහන්සේගේ ධාතූන්
වහන්සේලාට,චෛත්‍යන්ට,බෝධීන් වහන්සේලාට උන්වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියලා
හිතාගෙන සම සිතින් වන්දනා කරන්න කියනවා.ඒ වගේ ම මහ රහතන් වහන්සේලාගේ
ධාතූන් වහන්සෙලාටත් සම සිතින් වන්දනා කරන්න කියනවා.සක් දෙවිඳු පවා ධාතූන්
වහන්සේලා වන්දනා කරනවලු.දෙවිවරුන් ධාතූන් වහන්සේලාට වන්දනා කරන්නේ මේ වැඩ
ඉන්නේ අපගේ ශාශ්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ කියලා හිතාගෙන ම ලු.මේ දේවල් බොහෝ
අය විශ්වාස කරන්නේ නෑ කියනවා.විශ්වාස කරන්නේ නැති අයව වෙනස් කරන්න මහන්සි
වෙන්නෙ නැතිව පින් කරන අයට උපකාර කරන්න කියනවා.පිනට යොමු කරන්න කියනවා.ඒ
වගේම සූර්ය පිරිත,චන්ද පිරිත සජ්ඣායනා කරලා සූර්ය දෙව් පුතුටත්,චන්දිම දෙව්
පුතුටත් වගේම මහී දෙව්දුවටත් පින් අනුමෝදන් කරන්න පුළුවන්.
තුවාන්
කියන මේ දෑ නො පිළිගන්නට කාරණාවක් නැත.බොහෝ කරුණු කාරණා අප වටා ම දැනුදු
ජීවමාන ය.පසුගිය මාර්තු මස 8 වනදා දරුණු සූර්ය කුණාටුවක් හට ගත්තේ ය.ඒ
පිළිබඳව බටහිර සියලු මාධ්‍ය අනතුරු ඇඟවීම නිකුත් කළේ ය.පළමු වතාවට ලංකාවේ
මාධ්‍ය ද මේ ගැන කථා කළේ ය.2012 දෙසැම්බර් මාසයේ සූර්යයාගේ සහ පෘථිවියේ
සිදුවන සුවිශේෂී පිහිටීමක් ගැන ද දැනටමත් බටහිර රටවල් තොරතුරු නිකුත්
කරයි.එසේ නම් අනතුරක් අප අත ළඟ ය.අනතුරෙන් රැකෙන්නට ඇති එකම විසඳුම ඇත්තේ
ධර්මය තුළ පමණක් ම ය.අප්‍රමාදී ව ධර්මය තුළ ආරක්ෂා වී පිළිසරණක් සලසා ගනු
හැරෙන්නට කිසිදු විකල්පයක් කිසිවකු හට කිසිදු අයුරකින් නොමැත්තේම ය.
සියලු නම් ගම් මන:කල්පිතයි.
සංවාද සටහන : රංග රුවන්පුර
උපුටා ගැනීම : මහාමේඝ වෙසක් කලාපය - ශ්‍රී බුද්ධ වර්ෂ 2556